Thursday, August 19, 2010

නුඹ ආයෙමත් ඇවිදින්...ගීයක වරුණ

Posted by Sudara Muthuhetti [ සුදාර මුතුහෙට්ටි ] | Thursday, August 19, 2010 | Category: |

“උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්”

මේ පහුගිය දා ගුවන්විදුලියේ යන්තමට ඇහුණ සින්දුවක් පස්සෙ හොයාගෙන ඩවුන්ලෝඩ් කරගත්ත. අහපු ගමන්ම හිතට අමුත්තක් දැනුණ නිසා ටිකක් හොයලා බැලුවා.

මේක අපි ගොඩක් දෙනෙකුගේ පොදු අත්දැකීමක්, ලස්සන පද වැලකට ගොණු කරගත්ත.අපේ ජීවිත වල වැඩිපුරම තියෙන්නෙ කියාගන්න බැරි වුණ ආදර කතානේ. මොකක් හරි අහේතුවකට අපිට ශක්තියක් නැහැ ඒක අපි ආදරය කරන කෙනාට කියන්න. මේ ගීතයත් ඒ වගේ ගොළු ආදරයක හිරවෙලා හිත හදාගන්න දඟලන තරුණයෙකුගේ කතාවක්.

තමන්ට අත පොවාගන්න බැරිතරම් දුරකින් ඉන්න තරුණියකට පෙම් බැන්දාට ඔහු දන්නවා මේක දිනාගන්න බැරි ආදරයක් බව. ඒත් තමන්ගේ ආදරය අමතක කර හිත හදාගන්න ඉඩ නොදී මේ තරුණිය ඔහුගේ නෙත් මානයට නැවතත් එනවා. මේ ප්රේමය නිමා කරන්නට යෙදෙන තම මානසික අරගලය පරාජය වන තරුණයාගේ සිත්ට නැගෙන සිතිවිලි තමයි මේ ගීතයට පාදක වෙන්නේ.

ධම්මික බංඩාරගේ පද වැලක්, ඩැනිස්ටර් පෙරේරාගේ සංගීතයෙන් ඔප මට්ටම් වී අමරසිරි පීරිස් නම් ගායකයාගේ ගැඹුරු හඬින් තමයි මෙය අප සවන් අතරට ගීතයක් ලෙසින් එන්නේ.

ගීතයක් බොහෝ විට අප සිත ගැඹුරක නවතින්නේ අපේ කුමක් හෝ පුද්ගලික අත්දැකීමක් එක්ක මුසුවෙලා. මේ ගීය එවන් පොදු අත්දැකීමක් බොහෝ සංයමයකින් රචනා වී තිබීම නිසාම පද වැල කියවීම තුලම කිසියම් බැඳීමක් අප සිත් හා ඇතිකර ගන්නවා.

“ ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්”

කියා ගන්න බැරි ආදරයක මතක අළුත් කරගෙන තනියෙන්ම සති ගානක් අහන්න පුළුවන් ගීයක රස විඳගන්න කැමති නම් මේ ගීතය ඩවුන්ලෝඩ් කරගෙන අහන්න.

Currently have 0 අදහස්: